ජනපදකරණ,ය දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම, ජනගහනට සාපෙක්ෂාව එහි රඳවා තිබෙන අධික හමුදා ඝාතත්වය හා සිවිල් ජන ජීවිතයට හමුදාවේ බලපෑම් නතර කිරීම ආදිය තිලිපන් මිය ගොස් වසර 34 කට පසුත් උතුරේ ජනතාවගේ ඉල්ලීම්ය.

 

කෝ. ආනන්ද හිමියන් ලියු, ජයතිලක බණ්ඩාර ගැයු තිලිපන් ගීතයේ රාව නංවන පද පෙළක් වන්නේ, ‘නුඹයි මමයි එක අම්මාගේ දරුවෝ තිලිපන්’ යන්නයි.

වර්තමානයේ ජීවත්වන බොහෝ තරුණ, තරුණියන් නොදන්නා තිලිපන් ගැන සටහනක් තැබීම පවා ඇතැමුන්ට දේශද්‍රෝහී කමක් සේ පෙනෙනු ඇත. එහෙත්, අව්‍යාජ සාමයක් හෙවත් සාධනීය සාමයක් පතන කවරෙකුට වූවද තිලිපන් කියවීම පැහැර හැරිය නොහැකිය. ජාත්‍යන්තර සාම දිනය වන සැප්තැම්බර් 21 මේ සටහන ලියවෙන්නේ ඒ වෙනුවෙනි.

අමීර්තලිංගම් තිපිලන් යනු මීට වසර 34 කට පෙර 1987.09.15 දින උතුරේ යාපනය නල්ලුර් හී කන්දසාමි කෝවිල අසල කාල නියමයක් නැති උපවාසයක් ආරම්භ කළ හින්දැරි උපැස් පළදින 25 හැවිරිදි තරුණයෙකි.

දකුණේ කතරගම කන්දසාමි කෝවිලට යන දේශපාලකයින්ට මෙන්ම බහුතර සිංහලයන්ට නම් ඔහු හුදෙක් කොටියෙකු පමණි. ඇත්තටම ඔහු එල්. ටී. ටී. ඊ සංවිධානයේ යාපනයේ දේශපාලන අංශයේ නායකයාය. ඔහු මේ උපවාසය ආරම්භ කරන්නේ යුද්ධය තාවකාලිකව නතරව තිබු කාලවකවානුවකය. 1987 ජූලි 29 ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කර ජුලි 30 වනදා සාම සාධක හමුදාව යැයි නම් කළ ඉන්දීය හමුදා පැමිණි අතර එම හමුදාව ඉදිරියේ එල්. ටී. ටී. ඊ ය රජයට අවි බාරදීමත් රජය සමාව ප්‍රදානය කිරීමේ ලේඛනයක් එල්. ටී. ටි. ඊ යට බාරදීමත් සිදු වූ පසු බිමකය.

එසේම ඉන්දීය හමුදා පැමිණිමත් සමඟ දකුණේ දේශප්‍රේමි සන්නද්ධ නැගීටිමද උත්සන්න වෙමින් පැවැති පසුබිමකය.

උතුරේ පැවැතියේ කිසියම් ආකාරයක සැකසහිත නමුත් සාම අපෙක්ෂාවකි. අවි බාරදීමෙන් පසු සූදු මලෙහි පැවැති එල්. ටී. ටී. ඊ. විවෘත මහජන රැස්වීමට පනස්දාහකට අධික ජනතාවක් පැමිණි සිටියෝය. එය රෝහණ විජේවීර හිරෙන් නිදහස් වී පැමිණ පැවැත්වූ පළමු ප්‍රසිද්ධ රැළියට පැවැති ජන උද්යෝගයට සමාන එකකි.

මේ පසුබිම තුළ තිලිපන්ගේ දේශපාලන ක්‍රියාමාර්ගය වූ අහිංසාවාදි සටන් මාර්ගයක් වන උපවාසය උතුරේ ජනහදවත්වලට තදින් බලපෑම ගැන කිසිවෙකු පුදුම විය යුතු නැත. අද ද තිලිපන් සැමරුමට රජය කුමන බාධා ඇති කළද ජනතාවගේ හදවත් වලින් ඒ සැමරිම ඉවත් කළ නොහැක්කේ ඒ නිසාය.

තිලිපන්ගේ උපවාසයට අදාල ඉල්ලීම් වූයේ මොනවාද ? ඒ ඉල්ලීම් ඉල්ලුවේ කාගෙන්ද ? තිලිපන් ඉල්ලීම් ඉදිරිපත් කළේ ඉන්දීය රජයටයි. ඉන්දු ලංකා සාම ගිවිසුම ඉන්දීය රජයේ නිමැවුමකි. එය ජයවර්ධන ජනපති හා රාජීව් ගාන්ධි අතර අත්සන් කරන්නේ හෙලිකොප්ටර් ක්‍රමයට හෙවත් ඉහළින් බාන ලද්දක් වශයෙනි. ඒ නිසා උතුරේ ජනයාගේ අභිලාශයන් ඉටුකරමින් සාමය සහතික කිරීම ඉන්දීය රජයේ වගකීම ලෙස සලකා තිලිපන් පහත ඉල්ලීම් ඉදිරිපත් කෙරුණි.

  1. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන සිටින දෙමළ සිරකරුවන්, රෑඳවියන් නිදහස් කිරීම.
  2. උතුරු, නැගෙනහිර ප්‍රදේශවල සිදු කරන බලහත්කාරී සිංහල ජනපදකරණය නතර කිරීම
  3. නව පොලිස් හා හමුදා කඳවුරු උතුරු නැගෙනහිර ආරම්භ කිරීම නතර කිරීම
  4. හමුදාව හා පොලිසිය උතුරේ ගම්මානවල පාසල්වලින් ඉවත්වීම හා විවිධ කණ්ඩායම් වලට රජය ලබා දී ඇති අවි අයුධ ඉන්දීය හමුදාවට බාරදීම.
  5. පළාත් සභා ක්‍රමය යටතේ අන්තර් රජය පිහිටවන තුරු උතුරේ නැගෙනහිර කරන පුනරුත්තාපන කටයුතු නතර කිරීම.

සැප්තැම්බර් 15 වනදා ඇරඹි උපවාසය දිගටම ඇදී ගිය අතර සැප්තැම්බර් 27 වනදා තිලිපන් ජීවිතක්ෂයට පත්විය.

ජනපදකරණ,ය දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම, ජනගහනට සාපෙක්ෂාව එහි රඳවා තිබෙන අධික හමුදා ඝාතත්වය හා සිවිල් ජන ජීවිතයට හමුදාවේ බලපෑම් නතර කිරීම ආදිය තිලිපන් මිය ගොස් වසර 34 කට පසුත් උතුරේ ජනතාවගේ ඉල්ලීම්ය.

කෝ. ආනන්ද හිමියන් ලියු තිපිලන් ගීතයේ පළමු අන්තරා කොටස තුළ දකුණේ ජනප්‍රිය වාමවාදී දැක්ම සටහන් වෙනවා. උතුරේ තරුණයින් ගත් ක්‍රියාමාර්ගය නිවැරදි නැතැයි යන්න කියවෙනවා. තිලිපන්ගේ ක්‍රියාමාර්ගයට පවා නිවැරදි නැති බවක් කියැවෙනවා.

නුඹට අපට සතුරු කව්ද කියලා බැලුවේ නෑ
එක අම්මගේ දරුවෝ කියලා පිළිගත්තෙත් නෑ
එක මඟ යන්නට අප හා එකඟ වුණෙත් නෑ
ජීවත් වී සටන් කරන්නට කැමැතිත් නෑ

නමුත් ඉස්මතු නොවන්නේ ඇයි එහෙම වුණේ. ඊට දකුණට කිසිදු වගකීමක් නැද්ද. මේ මොහොතේ උතුරේ දේශපාලන පක්ෂ එක රටක් තුළ තම අනන්‍යතාවය, නිදහස, ජාතිකත්වය, පිළිගැනීමට ලක්ව ජීවත්වීමට කැමැත්ත ප්‍රකාශ කර තිබියදීත් එයටවත් රාජ්‍යය සැබැ අනුකූලතාවයක් දක්වයිද ? ගැඹුරින් සිතා බැලිය යුත්තේ ඒවාය. නැවත නැවතත් උතුරේ තරුණ තරුණියන්ට බලකරනු ලබන්නේ කුමන මාවතක් වෙත තල්ලු වීමටද ?

අපි සිංහලය අපි දෙමළය අපේ මෝඩකම් නොතකන
මතු පරපුර රට එක්කර මිනිස්කමට ප්‍රේම කරන
මොහොතක නුඹේ ගුණ සිහිකර මේ කෝවිල ළඟ ඉඳගෙන
මම ඇවිදින් දණ නමනවා නුඹගේ පිළිරුව ඉඹගෙන

කෝ. ආනන්ද හිමියන් ලියු ඒ රට දැන් මිනිස්කමට ප්‍රේම කරන්නන් විසින් නොව දෙස් විදෙස් අධිරාජ්‍යවාදි බලවේග විසින් එක්කර ඇත. යුද්ධය නිමා වී ඇත. රාජ්‍යයට අනුව සාමය උදා වී ඇත. එහෙත් දකුණේ සිංහලයින් විසින් තිලිපන්ගේ ගුණ සිහි කර කෝවිල ළඟ ඉඳගෙන තිලිපන්ගේ පිළිරුව ළඟ දණ නැමීම තබා උතුරේ ජනයාට තිලිපන් සිහි කිරීමටද ඉඩක් නොදෙන සාමයකි පවතින්නේ.

ඊට හේතුව ගීතයේ කියන පරිදි ජාති ආගම් බේද ඉක්මවූ මනුෂයත්වයේ පදනමින් එක් රටක් නිර්මාණය කිරීමට නොහැකි වීමය. ඒ නිසා අපි තවම බෙදුනු මිනිසුන්ය.

සාධනීය සැබෑ සාමයක් සඳහා මාවත වැටී ඇත්තේ මේ රටේ සියලු පුරවැසියන් ආගමික සංස්කෘතිමය පීඩාවකින් තොරව සමාන අයිතින් සමාන හිමිකම් ඇති එක මවකගේ දරුවන් ලෙස ජීවත්වන දාටය. ‘එක මවකගේ දරු කැළ බැවිනා’ යනුවෙන් ගැයීමෙන් පමණක් ඒ සමානාත්වය බිහි නොවේ.

Jesustoday.lk 5 වන වසර 30 වන සතිය 2021 සැප්තැම්බර් 26 වන ඉරිදා  

Comments powered by CComment