රටේ පාසල් හැර යාමේ පොදු ප්‍රතිශතය 6% ක් වෙද්දී වතුකරයේ ඒ ප්‍රතිශතය 18% ක්. තුන් ගුණයකින් වැඩියි.

තරුණ සමිතියේ රැස්වීම තුළ ඉශාලිනිගේ මරණය ලොකු මාතෘකාවක් වුණා.

“ෂුවර් එක පුච්චලා මරලා”

අනාගත නාගරික මන්ත්‍රී තුමා කිව්වා.

“ඔයා පරීක්ෂණ කරන පොලිස් කණ්ඩායමේ ඉන්නවාද ?”

පුංචි ස්වාමි එහෙම ඇහැව්වම මුඛ ආවරණ අස්සෙන් උනත් හිනා හඬක් මතු වුණා.

“නෑ, මම කියන්නේ ඔය රිෂාඩ්ලා ඉතිං ඔය වගේ යක්කුනේ ?”

“එහෙම විනිශ්චය කරන්නේ ජාතිය, ආගම අනුව ද ?”

ඒ ප්‍රශ්නය ඇසුවේ අපේ ‘කිතු ඇස’. ‘කිතු ඇස’ කියන අන්වර්ථ නාමය අපේ මිත්‍රයාට ලැබුණේ හැම විටම “අපි ඕක බලන්න ඕනි කිතු ඇසින්” කියලා කියන නිසා.

“කිතු ඇස’ ජෝක් එකට කිව්වට ඒ අදහස දැන් ටිකක් අපේ යූත් එකට මුල් බැහැගෙන යනවා.”

“හැම ආගමකම, හැම ජාතියකම දේශපාලකයෝ දූෂිතයි. මොකො කතෝලික ක්‍රිස්තියානි කියන දේශපාලකයෝ සාන්තුවරුද ? කුඩු විකුණන කතෝලික දේශපාලකයෝ නැද්ද ?”

“රිෂාඩ් මේකට වැරදිකරු නම් දඩුවම් ලැබෙන්න ඕනි. හැබැයි ඒ මුස්ලිම් විරෝධයේ කොටසක් ලෙස නෙවෙයි. විශේෂයෙන් කිතුනුවන් ලෙස අපි පාස්කු ඉරිදා ප්‍රහාරය මුස්ලිම් ලෝකයට ආදේශ කරගෙන මුස්ලිම් විරෝධයක් හිත තුළ කියාගත යුතු නෑ”

පුංචි ස්වාමි සන්සුන් ව කිව්වා.

“අපි කතා කරන්න ඕනි රිෂාඩ් ගැන නෙවෙයි. නිශාලනි ගැන, නිශාලනිලා ගැන”

තරුණියකගේ හඬ ඒ විදිහට එකතු වුණා. සාකච්ඡාව නියම පැත්තට යොමු වුණා.

“දරිද්‍රතාවයෙන් පෙළෙන වතුකම්කරු ජනතාව මේ රටේ දෙවැනි පුරවැසියන් නොවෙයි.” කියලා රාජ්‍ය ඇමතිවරයෙක් ප්‍රකාශ කරලා තිබුණා.”

“ඒක ඇත්ත. අපි ඒ මිනිස්සු මේ රටේ ජනතාව අපේ ආණ්ඩුව......”

වසං කරගන්න අමාරු දේශපාලන පක්ෂපාතිකම අනාගත නාගරික මන්ත්‍රී තුමාගෙන් පිටවුණා.

“මාගේ පංතියේ යාළු ස්වාමි කෙනෙක් ඉන්නවා. රත්නපුරේ මම ඉඳහිට එහි යනවා. ඒ නිසා මම දන්නවා ඔය දේශපාලකයින් කියන සමාන අයිතිය ඒ මිනිසුන්ට නෑ. ගොඩාක් මිනිසුන්ට ලිපිනයක්වත් නෑ. සමෘධි නෑ. රු 5000 නෑ.”

පුංචි ස්වාමි තම අත්දැකීම බෙදා ගත්තා.

එක ඇමති කෙනෙක්. දෙවැනි පුරවැසියෝ නෙවෙයි කියන කොට පළාතේ ආණ්ඩුකාරවරයාම කියලා තිබුණා. ඒ සමාන පුරවැසියන්ගේ තත්ත්වය.

“වතුකරයේ දරුවන්ගේන් 18% ක් ම පාසල් හැර යනවා කියලා මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා ප්‍රකාශ කරලා තිබුණා.”

“කිතු ඇස’ ප්‍රශ්නයේ ඇත්ත තත්ත්වය කිව්වේ සංඛ්‍යා දත්ත එක්ක.

“වතුකරයේ ජනයා මේ රටට විදේශ විනිමය උපයන පවුල්වලට අයත් වුනත් ඔවුන් ධනවත් නිවෙස්වල වැඩකාර ළමයි වන්නේ ඇයි. ඔවුන්ට දෙවැනි පුරවැසි තත්වයක් තියෙන නිසා”

රටේ පාසල් හැර යාමේ පොදු ප්‍රතිශතය 6% ක් වෙද්දී වතුකරයේ ඒ ප්‍රතිශතය 18% ක් තුන් ගුණයකින් වැඩියි.

රටේ දරිද්‍රතාවය වගේ හතර ගුණයක දරිද්‍රතාවයක් වතුකරයේ තිබෙනවා.

කෝවිඩ් තත්වය මඟ හැරී ගියාම අපේ පුංචි ස්වාමිගේ යාළු පියතුමා ඉන්න වතුකර ජනතාවගේ ජීවිතය ගැන අත්දැකීමක් ගනු සඳහා ගමනක් යන්න අපි තීරණය කළා.

Jesustoday.lk 5 වන වසර 22 වන සතිය 2021 අගොස්තු 01 වන ඉරිදා

 

 

Comments powered by CComment