ශතවර්ෂ දෙකකට ආසන්න කාලයක් ප්‍රජාවක් ලෙස මේ රටට ඉහළම විදේශ විනිමයක් උපයා දුන් කඳුකර ද්‍රවිඩ ප්‍රජාව සාමාන්‍ය ව්‍යවහාරයෙන් ද්‍රවිඩ වතු කම්කරු ප්‍රජාවට මේ රටේ සැබෑ පුරවැසි හිමිකමක් ලබා දී නැත. එසේ ලබා නොදීම, ඉවසා සිටින, ඊට එකඟතාවය පළ කර සිටින සියල්ලෝ ඉෂාලනිගේ මරණයේ වක්‍ර වග උත්තරකරුවෝය. ඉෂාලනිට යුක්තිය ඉල්ලන වැඩි දෙනා ද ඊට අයත්ය.

 

රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාගේ නිවසේදී පිලිස්සී මිය ගිය 16 හැවිරිදි ඉෂාලනි දියණියට යුක්තිය ඉල්ලා හඬ නැංවේ. එය කළ යුතුම දෙයකි.

ඉෂාලනි දැරිය නොකඩවා ලිංගික අපයෝජනයට ලක් ව ඇතැයි ද වෛද්‍යවරු පවසා තිබෙනවා. ඇතැමුන් මේ ඉෂාලනිගේ සිදුවීම ඊට පෙර 15 හැවිරිදි දැරියක් සංවිධානාත්මකව අලෙවි කිරීමේ  සමඟ සසදමින් විවිධ සාපෙක්ෂික වාර්ගික ආගමික අදහස් දැක්වීම් කරමින් අපේ රටේ දරුවන්ගේ ඛේදනීය ඉරණම වෙනත් කරුණු මත වසා දමමින් සිටිනවා.

අපට දරුවෙකු, දරුවෙකු මිස ක්‍රිස්තියානි ද, බෞද්ධ ද, මුස්ලිම් ද සිංහල ද දෙමළ ද යන්න අදාල නොවේ. දරුවන් දරුවන්මය. සෑම ආගමික වාර්ගික සමාජයකම දරුවන් විනාශ කරමින් පවති.

දැන් අපි ඉෂාලනිට යුක්තිය නම් වූ ප්‍රශ්නයට යොමුවෙමු. මිය ගිය ඉෂාලනිට ලැබෙන යුක්තිය කුමක් ද ?

සාධාරණ පරීක්ෂණයක් පවත්වා වැරදිකරුවන්ට දැඩුවම් දී පවුලට වන්දියක් ලබා දීමයි. එය විය යුතුය. ඒත්, මිය ගිය අපයෝජනයට ලක් වූ දරුවාට ඉන් ලැබෙන දෙයක් නැත.

ඉෂාලනිට සැබෑවටම යුක්තිය ඉටුවන්නේ ඉෂාලනිලාට යුක්තිය ඉටුවීමෙනි. එනම් ඉෂාලනි පැවැත එන මෙරට කඳුකර ද්‍රවිඩ ජනයාට යුක්තිය ඉටුකිරිමෙනි.

අප කව්රුත් දන්නා ඇත්තක් වන්නේ මෙරට ළමා මෙහෙකාර සේවයේ යෙදෙන බහුතරයක් ළමයි කඳුකර ද්‍රවිඩ ප්‍රජාවගේ දරුවන් බවයි.

ඉෂාලනිලාට ඒ ඉරණම හිමිව ඇත්තේ ඇයි ?

ශතවර්ෂ දෙකකට ආසන්න කාලයක් ප්‍රජාවක් ලෙස මේ රටට ඉහළම විදේශ විනිමයක් උපයා දුන් කඳුකර ද්‍රවිඩ ප්‍රජාව සාමාන්‍ය ව්‍යවහාරයෙන් ද්‍රවිඩ වතු කම්කරු ප්‍රජාවට මේ රටේ සැබෑ පුරවැසි හිමිකමක් ලබා දී නැත. එසේ ලබා නොදීම, ඉවසා සිටින, ඊට එකඟතාවය පළ කර සිටින සියල්ලෝ ඉෂාලනිගේ මරණයේ වක්‍ර වග උත්තරකරුවෝය. ඉෂාලනිට යුක්තිය ඉල්ලන වැඩි දෙනා ද ඊට අයත්ය.

ඉෂාලනිට මෙහෙකාර සේවයට යන්න ට සිදු වන්නේ පවුල ට ප්‍රමාණාත්මක දායමක් නොලැබීම මගින් විෂම ණය චක්‍රයක ඔවුන් සිර වී  සිටින නිසාය. මෙම ජනතාව ශ්‍රී ලංකාවට පැමිණි මුල් කාලයේ සිටම ඔවුන්ගේ ශ්‍රමය සූරා කෑමට අමතරව ඔවුන් ඉපයු සොච්චම් වැටුප ණය උගුලක් මගින් ගසා කනු ලැබීය.

ඡන්දය දීමේ අයිතිය හැරුනු විට මෙරට සාමාන්‍ය ජනයාට හිමි බොහෝ පුරවැසි අයිතින් ඔවුන්ට නැත. රජයේ සමාජ ආරක්ෂණ වැඩ පිළිවලවල් සංවර්ධන වැඩ පිළිවලවල් ඔවුන්ට අදාල නැත. තවම ලිපිනයක් නැති දහස් සංඛ්‍යාවක් ඔවුන් අතර වේ.

වතු ආර්ථීකය හැකිලෙමින් තිබෙන අතර වතු ආශ්‍රිත කම්කරු ජනයා අඩුවෙමින් ඇත. 1930 වන විට සිංහල ජනයාට පසු ජනගහනයේ වැඩි පංගුව හිමිවූයේ ඉන්දීය ද්‍රවිඩ ජනයාටයි. නිදහස් ශ්‍රී ලංකාව වැඩ ඇල්ලුවේම ඔවුන්ගේ පුරවැසි අයිතිය අහෝසි කරන පනත් ගෙන එමිනි.

ඉෂාලනිට යුක්තිය ඉල්ලන මේ ජූලියේ මීට වසර 39 කට පෙර ජූලියේදී ඉෂාලනිලාගේ අම්මලා, තාත්තලා, සීයලා, ආච්චිලාද පහර කෑවෝය. එදා පහර කෑමට ලක් වූ අනාථ වූ ඇතැම් පිරිසක් ඉන්දියාව පිටත් කර හැරිනි. ඔව්හූ තවමත් කිසිදු රටකට අයත් නැති ප්‍රජාවක් ලෙස ඉන්දියාවේ අනාථ කඳවුරු වල වෙසෙති.

වත්තට අවැසි නැති විට ඉෂානිලාට යන එන මං නැත. රු. 1000 ක දෛනික වැටුපට තවම ඔව්හූ සටන් කරති. මේ සටහන තබන අද (ජූලි 21) පුවත්පත් වාර්තාවක සිරස්තලය මෙසේය.

"රු. 1000 ක වැටුප කප්පාදු නොකරන්නැයි විරෝධතාවක්."

ඉෂානිලාව ජනතාවක් ලෙස අප සමාජය තුළ සූක්ෂමව දිය කර හැරීමකට කටයුතු කර ඇත. එය ඉෂාලනිගේ ඛේදවාචකයට වඩා අතිශය දැවැන්ත අපරාධයකි. එයට යුක්තිය ඉටුකළ යුතුය. එවිට ඉෂානිලාට බැල මෙහෙවර කිරිමට යාමට අවශ්‍ය නොවනු ඇත.

Jesustoday.lk 5 වන වසර 21 වන සතිය 2021 ජූලි 24 වන ඉරිදා

 

Comments powered by CComment