11 හැවිරිදි දියණියකට දරුවාට ඇති නෑකම් ගැන පවා විග්‍රහකර ගැනීම දුෂ්කරය. ඔව් එය එසේය. එබැවින් මේ ඉරණමට තමා ද පියා වැනියවුන්ද ගොදුරුවන්නේ ඇයි දැයි සමාජ විග්‍රහයක් කවියට එක් කරන්නට කවියේ ආකෘතිය අනුව ඉඩක් නැත.

 

වජිර දීප්ති වීරකොන්ගේ තෙවෙනි පද්‍ය සංග්‍රහය ‘ඌළියක්කාරී’ ය. එය ගෝඩගේ කාව්‍ය අත්පිටපත් තරඟයේ ජයග්‍රාහී කෘතියකි.

අද අපි කෙටියෙන් විමසන්නේ එකී කාව්‍ය සංග්‍රහයේ එන ‘සොදොම් ග‍ොමෝරා’ නම් කවියයි. කවියට නිමිත්ත කවියා කවිය අග මෙසේ සටහන් කරයි.

සටහන

දිවයිනේ ලාබාල ම මවට වයස අවුරුදු 11 යි. දියණිය කෙලෙසු පියා අත්අඩංගුවට

ලෝකය තුළ ළමා මව්වරුන්ගේ කතන්දර මිලියන ගණනකි. ඒ සෑම කතන්දරයකම හද පාරන වේදනාවක් ගැබ්ව පවති. ළමා මව්වරු යනු අප ජීවත්වන ලෝකයේ සිටින විශේෂ පීඩිත කොට්ඨාශයකි. ඒ අරුතින් ඔවුන් වෙත අවධානය යොමු වී ඇත්තේ අල්ප වශයෙනි.

ශ්‍රී ලංකාව තුළ ළමා මව්වරු පිළිබඳ කතා බහ ජාතිවාදින් විසින් මුස්ලිම් විරෝධයේ අවියක් ලෙස භාවිතා කරනු පසුගිය කාලය පුරා දක්නට ලැබුණි. මුස්ලිම් විවාහ නීතිය මතු කරමින් ලංකාවේ ළමා මව්වරු යනු මුස්ලිම්වරුන්ගේ විවාහ නීතියේ ප්‍රශ්නයක් බවට ඒත්තු ගන්වන කතා ඇසුණි. එහෙත් සත්‍ය ඊට බොහෝ දුරස් බව අපි සංඛ්‍යා දත්ත සහිතව Jesustoday.lk වෙබ් අඩවිය තුළම ලියා ඇත. සිංහල දෙමළ මුස්ලිම් සියලු ප්‍රජාවන් අතර ළමා මව්වරුන් දැකිය හැකිය. වැඩි ප්‍රතිශතයක් සිංහල ප්‍රජාව අතරය.

වජිරගේ කවිය අප කියවා ගත යුත්තේ පීඩිතයාගේ දෘෂ්ටි කෝණයෙනි. 11 වියැති මේ ළමා මව තම දරුවා අමතා කියන කතාවක් ලෙස කවිය දිග හැරේ.

සොදොම් ගොමෝරා

නර්ස් නැන්දලා
ඔයාට කියන්නේ ‘රෙබෙකා’ කියලා
මට කියන්නේ ‘චූටම්මා’ කියලා
පොලිස් නැන්ද ලා හැමදාම ඇහුවේ වයස
අම්මා එයාලට කිව්වේ එකොළහයි කියලා

පරිවාසයෙන් බෝනික්කා දුන්නේ ඔයාට
ඒත් ඒකෙන් සෙල්ලම් කරන්නේ මම
ශිෂ්‍යත්වෙ යාළුවොත් දැන් නෑ මට
කිරිත් එරෙනවා ඔයා අඬන කොට
අම්මත් අඬනවා එතකොට

ඔයා මගේ දුව
ඒ ඉතිං මට
ඔයා මිණිබිරිය
ඒ අපේ අම්මට
දුව ද මිණිබිරියද
එතකොට අපේ තාත්තාට
කොහොම වුණත් ඔයා
‘චෝයි’ නංගියෙක් මට

ආච්චි අම්ම බැන්නට
අම්ම හීල්ලුවට
බඩේ තුවාලේ වේලෙන කොට
අපිට ගෙදර ගියෑකි
එදාට මගේ පරණ තොටිල්ලේ
ඔයාට නිදාගතතැකි

11 හැවිරිදි දියණියකගේ මනසින් ලියැවි ඇති නිසා කවිය මහප්‍රාණ භාෂාවෙන් තොර වෙයි. සරල ගම්භිරත්වයක් උසුලයි. හදවත කම්පා කරයි.

11 හැවිරිදි දියණියකට දරුවාට ඇති නෑකම් ගැන පවා විග්‍රහකර ගැනීම දුෂ්කරය. ඔව් එය එසේය. එබැවින් මේ ඉරණමට තමා ද පියා වැනියවුන්ද ගොදුරුවන්නේ ඇයි දැයි සමාජ විග්‍රහයක් කවියට එක් කරන්නට කවියේ ආකෘතිය අනුව ඉඩක් නැත.

කවියා ඒ අභියෝගය ජයගන්නේ කවියට යොදන මාතෘකාවනි. ‘සොදොම් ගෝමෝරා’ එය ක්‍රිස්තියානි බයිබලය කියවා ඇත්තෙකුට තේරෙන සංඥා නාමයකි. එබැවින් කවියා තම කවියේ අග පාද සටහනකින් විස්තර කරයි. එපමණකින් නොනැවති ලංකාවට ඇති සම්බන්ධයක්ද ඒ සටහනේ වරහන් තුළ බහාලයි. එය මෙසේය.

“නීච පාප ක්‍රියාවන් ගහන වූ බැවින් දේව උදහසට ලක් ව ගෙන්දගම් සහ ගිනි වර්ෂාවක් මගින් විනාශයට පත් කරන ලද බයිබලයේ සඳහන් නගරයකි." (මේ පොත ප්‍රකාහයට පත්වන විට ලංකාවට සුනාමි ව්‍යසනය සිදු වී වසර 14කි)

කවියා ව්‍යාංගයෙන් පවසන්නේ මෙවන් ළාබාල මව්වරු බිහි කරන තම දියණියන් කෙලෙසන ලංකාවද නීච පාපයෙන් ගිලිගත් රටක් බවයි. ඒ නීචත්වය විනාශ කර දැමිය යුතු බවයි. එය සත්‍යයකි. නමුත් අපට දැනෙන ලෙස කවියා අසාර්ථික වන්නේ වරහන් තුළ දමන කොටස නිසා බවයි.

ඔව් ස්වාභාවික විපත් යැයි කියන බොහෝ දේ පරිසර ද්‍රෝහි සංවර්ධන ක්‍රියාවලිය තුළ ඉල්ලා ගත් ව්‍යසන බව සැබෑය.

ස්වාභාවික විපත් පාපයට දඩුවමක් ලෙස සාමාන්‍යකරණය කරන මතවාදයට ඒ වරහන් තුළ සටහන රුකුල් දෙයි. මේ නීචත්වය අහොසි කිරීමේ සබුද්ධික විද්‍යාත්මක පරිශ්‍රමය ලංකාවේ සංදර්භය තුළ කිසියම් මිථ්‍යාවකට ගිල්වා දමයි. වරහන් තුළ කොටස නොවුයේ නම් කවිය නිසැකවම උස්ව නැගී සිටියි. ළමා මව්රුන්ගේ ඛේදය පාඨකයා කම්පනයට පත් කරමින් දැනෙන්නට සලස්වයි.

Jesustoday.lk 5 වන වසර 29 වන සතිය 2021 සැප්තැම්බර් 19 වන ඉරිදා 

 

Comments powered by CComment