එමෙන්ම සමාජයේ උන්වහන්සේ ප්‍රතික්ෂේප කළ නායකත්වයේ ස්වරූපයන් පසුපස යමින් ඔවුනට ආවැඩීම කිතුනුවා කිසිසේත් නොකළ යුතුය.

මනුෂ්‍යයන් ලෙස අප ජීවත් වන්නේ සමාජයකය. එම සමාජය ක්‍රියාත්මක වන්නේ යම් ක්‍රමයන්, වටිනාකම්, ප්‍රතිපත්ති යනාදි දේ මතය.

අද ශුභාරංචියේ සදහන් වෙනවා උන්වහන්සේගේ කාලයේ සමාජයේ පැවති එක් ලක්ෂණයක් ගැන. එනම් ඒ සමාජයේ “ආණ්ඩුකාරයන් (හෙවත් නායකයන්) වශයෙන් සම්මත වූවන් ඔවුන් කෙරේ ආධිපත්‍යය පවත්වන බවත්, ඔවුන්ගේ ප්‍රධානීන් ඔවුන් කෙරෙහි බලය පාන බවත්ය.

”සෙබදිගේ පුත් ජාකොබ් හා ජුවාම් ඉල්ලා සිටියේ එවැනි ලක්ෂණයකින් යුත් නායකත්වයකි. අනිත් ශ්‍රාවකයන් ද සිහින මැව්වේ එවැනි නායකත්වයකටය. “අනික් දස දෙනා ඒ අසා ජාකොබ් හා ජුවාම් සමග අතීශයින් කෝප” වූයේ ඒ නිසාය. එහෙත් උන්වහන්සේ පැහැදිලිව එම නායකත්වයේ ලක්ෂණය ප්‍රතික්ෂේප කරන සේක. ඒ, එවැනිවූ සමාජයක ජීවත් වන මනුෂ්‍ය දූ පුතුන්ට ඒ නිසාම විමුක්තිය, ගැලවීම අහිමි වන නිසාය.

“එහෙත්, ඔබ අතර එසේ නොවේ. ඔබ අතර ප්‍රධානියා වන්නට කැමැති යමෙක් ඇද්ද, ඔහු ඔබේ සේවකයා විය යුතු ය. ඔබ අතර ස්වාමියා වන්නට කැමති යමෙක් ඇද්ද, ඔහු සියල්ලන්ගේ දාසයා විය යුතු ය.

උන්වහන්සේ ශ්‍රාවකයන්ගේ පාද සෝදමින් ද කුරුසියේ ජීවිතය පූජා කරමින් ද පෙන්වූයේ දේශපාලන වේවා, ආගමික වේවා, සමාජයීය වේවා ඕනෑම නායකයෙක් තුළ අනිවාර්‍යයෙන්ම තිබිය යුතු ලක්ෂණය ගැනය. 

ජේසුස් වහන්සේගේ කාලයේ පමණක් නොව වර්තමාන සමාජයේ නායකත්වය තුළ පවා උන්වහන්සේ ප්‍රතික්ෂේප කළ එම ලක්ෂණය දැක ගන්නට පුළුවන. අප රටේ ඒ සදහා උදාහරණ රාශියක් ඇත. නායකයෝ මුදලෙන් ද වස්තු සම්පතෙන් ද නීතියෙන් ද බලයෙන් ද තමන් යටතේ සිටින අයට ආධිපත්‍යය පෙන්වති. තමන්ට අවශ්‍ය විදියට පොදු අරමුදල් වස්තු දේපල තමන්ගේ කරගති, තමන්ට අවශ්‍ය ලෙස නීතිය හසුරුවති, තමන්ට අවශ්‍ය අයට සලකති, විරුද්ධවාදින්ට අර්‍යාදු කරති. මෙය දේව රාජ්‍යයේ වටිනාකම් වලට සපුරා පටහැනිය. එමනිසා මේ තත්ත්වය කිතුනුවා පැහැදිලිව ප්‍රතික්ෂේප කළ යුතුය.

තමන් යම් නායකත්වයක් දරන්නේද; එය පවුල තුළ හෝ සමිති සමාගම් සංවිධාන හෝ වෙනත් ඕනෑම ව්‍යුහයක හෝ විය හැක, එම නායකත්වය ජේසු ස්වාමින් වහන්සේගේ නායකත්වය අනුව දැරීම ඔහුගේ හෝ ඇයගේ වගකීම වේ. එමෙන්ම සමාජයේ උන්වහන්සේ ප්‍රතික්ෂේප කළ නායකත්වයේ ස්වරූපයන් පසුපස යමින් ඔවුනට ආවැඩීම කිතුනුවා කිසිසේත් නොකළ යුතුය.

තවද උන්වහන්සේ ආදර්ශයෙන් පෙන්වා දුන් නායකත්වයේ සංස්කෘතියක් අප ජීවත්වන සමාජය තුළ ගොඩ නැගීම කිතුනුවාගේ යුතුකම වේ.

එවැනිවූ නායකත්වයේ සංස්කෘතියක් ලොව පුරා ගොඩ නැගීම ඉතා දුෂ්කර වී තිබෙනුයේ වර්තමාන සමාජයේ ක්‍රියාත්මක වන දේශපාලන ආර්ථික ප්‍රතිපත්ති හා වටිනාකම් නිසාය. මහත්මා ගාන්ධි, නෙල්සන් මැන්ඩලා, ජොසේ මුජිකා වැනි ආදර්ශමත් නායකයන් බිහිවී ඇත.

එවැනි වූ පුද්ගල ‘සාන්තුවරයන්’ පමණක් බිහිවීමෙන් අපට සෑහීමකට පත්විය නොහැක. අවශ්‍ය වනුයේ සමාජ ක්‍රමයම ‘සාන්තුවර තත්ත්වයට’ පත්වීමය.

ජේසූ පෙන්වා දුන් නායකත්වයේ සංස්කෘතියක් වර්තමානයේ පවතින දේශපාලන ආර්ථික ප්‍රතිපත්ති තුළ මුළු ලොව පුරා බිහිවීම අපේක්ෂා කළ නොහැකිය. මන්දයත් අද පවතින දේශපාලන ආර්ථික ප්‍රතිපත්ති ඇතුලු සමස්ථ සමාජ ක්‍රමයම ඉල්ලා සිටින්නේම ආධිපත්‍යයෙන් යුතු බලය පාන නායකත්වයකි. එවැනි නායකත්වයෙන් තොර පවතින ක්‍රමය තවදුරටත් පවත්වාගෙන යා නොහැකිය.

එමනිසා කිතුනුවා තමන් යම් නායකත්වයක් දරන්නේද එය ජෙසූ ස්වාමින්වහන්සේ පෙන්වා දුන් ආදර්ශයට අනුව දරන්නට පුළුවන් තරම් වෑයම් කළ යුතුය.

දෙවනුව එවැනිවූ නායකත්වයේ සංස්කෘතියක් සමාජය තුළ ගොඩ නැගීමට වෙහෙසිය යුතුය.

තෙවනුව එවැනි වූ නායකත්වයේ සංස්කෘතියකට ලොව පුරා ඉඩ සැලසෙන දේව රාජ්‍යයේ සමාජ ක්‍රමය මෙලොව ගොඩ නැගීමට කැප විය යුතුය.

ඒ සදහා කිතුනුවාට ක්‍රිස්තුස්වහන්සේ බොන ලද “දුක් වේදනා නමැති කුසලානෙන් බොන්නට හෝ” උන්වහන්සේ කුරුස ගසේ ලැබූ “බෞතිස්ම ස්නාපනය ලබන්නට” සිදුවේ.

7GradeWriterWorkshop ශෙරාඩ් ජයවර්ධන පියතුමා

Jesustoday.lk 5 වන වසර 32 වන සතිය 2021 ඔක්තෝම්බර් 17 වන ඉරිදා 

  

Comments powered by CComment