අප ජීවත්වන්නේ ධනයේ රාජ්‍යයේ දැක්මක් තුළ නොවේද ? ගේදොර වතු පිටි අත් හැරිම නොව, ඉතාම ස්වල්ප දෙයක් පවා අප දේව රාජ්‍ය වෙනුවෙන් අත්හැරීමට සූදානම්ද ? 

 

ප්‍රඥා        7/7-11
හෙබ්‍රෙව්   4/12-13
මාක්        10/17-27

දේව වචනය ලෙස කිතුනුවන් අදහන ශුද්ධ ලියවිල්ල වනාහි කෙබඳු අභියෝගාත්මක වචනයක්ද ? ඉගැන්වීමක්ද ?

“දෙවියන් වහන්සෙගේ වචනය ජීවමානය.

ක්‍රියාශීලිය.

දෙමුවහත් කඩුවකටත් වඩා තියුණුය.

ආත්මය ප්‍රාණයෙන්ද, සන්ධි ඇටමිදුලුවලින් ද වෙන් කරන තරම් විනිවිද යන්නේය.

සිතේ සිතුවිලි ද අරමුණ ද විමසන්නේය.”

අද බොහෝ කිතුනුවන් අභියෝගාත්මක වදන් මඟ හැර තැනින් තැන උපුටාගත්, උපුටා දෙන සුන්දර වදන්වල එල්ල සිටිති. ඒ නිසාම ගැලවීමෙන් ඈත්ව සිටිති.

අද දින සුවිශේෂයේ සඳහන් සිදුවීම මේ යථාර්ථය ගැඹුරින් පහදා දේ.

පුද්ගලයෙක් මෙසේ ජේසු තුමාගෙන් විමසයි.

“යහපත් ගරු දේවයෙනී, සදාතන ජීවිතය උරුම කර ගන්නා පිණිස මා කුමක් කළ යුතුද ?”

ජේසු තුමා මෙසේ පිළිතුරු දේ එහි කොටස් දෙකකි.

1. මා යහපත් යයි ඔබ කියන්නේ මන්ද ? හුදෙක් දෙවියන් වහන්සේ මිස අන් කිසිවෙක් යහපත් නොවේ.

අපි දුබල අය. අපි වෙනස් විය යුතු අය මම වූවද එසේමය යන හැඟීම එතුමා විමසන්නාට ලබා දෙන්නේ ඔහුට ඔහු ගැන සිතා බැලීමට උපකාරයක් ලෙසයි. ඔහු තමා සියල්ල සම්පූර්ණව පිළිපදින්නෙකු ලෙස සිතා සිටින බව එතුමාට දැනෙන නිසයි.

2. ඔබ ආඥා දන්නෙහිය.

එතුමා දස පනතේ මූලික ශික්ෂණ මතක් කර දෙයි.

■ විමසන්නාගේ පිලිතුර මෙසේය.

‘ගරු දේවයනී, මම මේ සියල්ලක්ම යොවුන් වියේ සිට රක්ෂා කළෙමි.’

■ ජේසුස් වහන්සේ ඔහු දෙස බලා මෙත්සිත් වඩා මෙසේ පිළිතුරු දෙයි.

“ඔබට එක අඩුපාඩුවක් ඇත. යන්න ඔබ සතු සියල්ල විකුණන්න විකුණ දිළිඳුන්ට දෙන්න. ස්වර්ගයෙහි ඔබට සම්පත් ඇති වන්නේය”

■ විමසන්නාගේ ප්‍රතිචාරය කුමක්ද ?

ඔහු ඒ කීම නිසා මලානික වී දොම්නසින් පිරි එතැනින් නික්ම ගියේය. එසේ කළේ ඔහුට වස්තු සම්භාරයක් තිබුණු බැවිනි.

මේ සමඟ උන්වහන්සේගේ ශ්‍රාවකයින් අතර නොසන්සුන්තාවයක් හට ගනී. ජේසු තුමා තම දර්ශනය, දේව රාජ්‍යයේ දැක්ම මෙසේ පහදා දෙයි.

“දරුවෙනී, දෙවියන් වහන්සේගේ රාජ්‍යයට ඇතුළුවීම කොතරම් දුෂ්කර ද ? “ධනවතෙකුට දෙවියන් වහන්සෙගේ රාජ්‍යයට ඇතුළුවීමට වඩා ඔටුවෙකු ඉඳිකටු මලින් රිංගා යාම පහසුය”

ශ්‍රාවකයින්ගේ ප්‍රතිචාරය කුමක්ද ?

“ඔව්හූ, අතිශයින් මවිත වී, “එසේ නම් ගැළවීම ලැබිය හැක්කේ කවරෙක්දැ‘යි ඔවුනොවුන් අතර කියාගත්හ.”

ජේසු තුමා මෙසේ පැහැදිලි කරයි.

“මිනිසුන්ට නම් එය කළ නොහැකිය. දෙවියන් වහන්සේට එසේ නොවේ. දෙවියන් වහන්සේට සියල්ල කළ හැකි යි.”

සැබෑ ප්‍රඥාවට පමණක් ජීවිතයේ සැබෑ තීරණ ගත හැකිය. ‘ප්‍රඥාව’ යනු එයයි. දේව ප්‍රඥාවට අප විවෘත විය යුතුය. පළමු කියවීම අපට පවසන්නේ ඒ ප්‍රඥාවේ මහිමයයි. ප්‍රඥාව යනු මේ ලෝකයේ පවතින දැනුම නොවේ.

දේව රාජ්‍යය යනු ධනයේ රාජ්‍යයට ප්‍රතිපක්ෂ වටිනාකම් ඇති ජීවිතයකි. එය උරුම කර ගැනීමට නම් අප මේ ලෝකයේ ප්‍රඥාවෙන් වස්තුවෙන් නිදහස් වූ ජීවිතයක් වෙත යොමු විය යුතුය.

“සැබැවින් ම මම ඔබට කියමි. මා නිසා ද සුබ අස්න නිසාද, ගේදොර හෝ සොහොයුරන් හෝ සොහොයුරියන් හෝ අත්හළ කවරෙකු වූවද, ඔහු දැන් මේ කාලයේ දී ම සිය ගුණයක් ගේදොර ද සොහොයුරන් ද සොහොයුරියන්ද මවුමව්රුන් ද දරුවන් ද ගම්බිම් ද ඒ සමග පීඩාද, එන යුගයේ දී සදාතන ජීවනය ද නොලබා නොසිටින්නෝය.

අප ජීවත්වන්නේ ධනයේ රාජ්‍යයේ දැක්මක් තුළ නොවේද ?

ගේදොර වතු පිටි අත් හැරිම නොව, ඉතාම ස්වල්ප දෙයක් පවා අප දේව රාජ්‍ය වෙනුවෙන් අත්හැරීමට සූදානම්ද ? 

අප ඉගෙන ගන්නාවා යනුවෙන් අදහස් කරන්නේ, දරුවන්ට උගන්වනවා යන්නෙන් අදහස් කරන්නේ දේව රාජ්‍යයේ ප්‍රඥාව ලබා ගැනීමද ? මේ ලෝකයේ ප්‍රඥාව ලබා ගැනීමද ? යන්න ගැඹුරින් සිතා බලමු. මලානිකව ජේසුගේ අභියෝගය ඉදිරයේ ඉවතට ඇදී යන මිනිසෙක් ද ගැහැනියෙක්ද යන්න ගැඹුරින් මෙනෙහි කරමු. 

Jesustoday.lk 5 වන වසර 32 වන සතිය 2021 ඔක්තෝම්බර් 10 වන ඉරිදා 

 

Comments powered by CComment