දෙවියන් එක් කළ මිනිසුන් ධනය, දේපල, මුදල විසින් වෙන් කරමින් ඇත. මිනිසුන් පවුල් එක් කරන්නේ ප්‍රේමයයි. ධනය සිදු කරන්නේ වෙන් කිරීමයි

 

උත්පත්ති  2/18-24,

මාක්       10/2-16
හෙබ්‍රෙව්   2/9-11

අදට නියමිත පළමු කියවීම ස්ත්‍රීය මැවීම ගැනයි. සුවිශේෂ කතාව ස්ත්‍රීය මුල්කරගෙන පවුල ගැනයි.

පලමු කියවීමේ එන උත්පත්ති පොතේ කොටස ශුද්ධ වූ බයිබලයේ තිබෙන කොටස් අතර වැඩිපුරම අවභාවිත වු වැරදියට අර්ථ දක්වන කොටස් අතරින් එකකි.

බොහෝ කිතුනුවන්ද මේ කොටස උපුටා දක්වමින් ස්ත්‍රීය ද්වීතීක මැවිල්ලක බව පෙන්වා දෙති. පුරුෂයාගේ ඉල ඇටයෙන් මැවු නිසා පුරුෂයා මූලික වන බවත් ස්ත්‍රීය පුරුෂයා නිසා පවතින බවත් පෙන්වා දෙන අය අනන්ත වෙති.

නමුත් දෙවියන් වහන්සේ මිනිසාට ‘සහකාරීය’ ලෙස මවන්නේ ගැහැනියක් කියන අදහසක් කිසිසේත්ම මුල් බයිබලීය වචන වලින් අදහස් නොවේ.

මිනිසා තනිව විසීම සුදුසු නැත. තනිකම බයිබලය තුළ දක්වන්නේ කාලකණ්නිකමක් වශයෙනි. මිනිසා සාමුහිකත්වය උදෙසා කැඳවනු ලැබුවෙකි.

‘සහාකාරිය’ යන වචනයට යොදන හීබෘත වචනයේ අරුත ‘දෙවියන්ගෙන් ලැබෙන සහය යන්නයි’ මිනිසාට දෙවියන්ගෙන් ලැබෙන සහය නොමැතිව ජීවත් විය නොහැකිය.

මිනිසාට දෙවියන්ගෙන් ලැබෙන සහය ලැබෙන්නේ තවත් මිනිසෙකු තුළිනි. මෙතැන මිනිසා යනු ‘පුරුෂයා’ යන්න නොවේ.

මෙය සැමියා හා බිරිඳ පිළිබඳ කතාවක්ද නොවේ. ස්ත්‍රීය හා පුරුෂයා සම ගරුත්වයක් ඇති අයය. දෙවියන් වහන්සේ තම සමානකමට ස්ත්‍රීය හා පුරුෂයා යන දෙදෙනාම මැවු බව බයිබලය සඳහන් කරයි.

මානව පවුල තුළ සිය්ලලෝ සහෝදර සහෝදරියෝය. හෙබ්‍රෙව් ලිපිය අවධාරණය කරන්නෙත් එයයි.

“සියල්ලෝම එකම පියාණන් වහන්සෙගෙන් වෙති. ඒ කාරණය නිසා ජේසුස් වහන්සේ ඔවුන්ට සහෝදරයන් යැයි කීමට ලැජ්ජා නොවන සේක.”

ජේසු ද, අමුතු වෙනස් කෙනෙකු නොවේ. දේව පුත්‍රභාවයේ දේව දියණිභවයේ උරුමය ජේසුට මෙන්ම අන් සියලු මිනිසුන්ට ගැහැනුන්ට උරුමය.

අද වන විට ‘පවුල’ ‘සමාජය’ දෙවිඳුන් දුන් පවුල් බව සාංගික බව වෙනුවට ධනයේ ක්‍රමයේ පවුල් බවට පසුබැස ඇත.

දෙවියන් එක් කළ මිනිසුන් ධනය, දේපල, මුදල විසින් වෙන් කරමින් ඇත. මිනිසුන් පවුල් එක් කරන්නේ ප්‍රේමයයි. ධනය සිදු කරන්නේ වෙන් කිරීමයි.

මේ සත්‍ය අපි දැකගත යුතුය. බිඳ වැටෙන පවුල්, දෙස මේ දැක්ම තුළ බැලිය යුතුය. වෙන් කිරිමේ ධනයේ බලයේ ආධ්‍යත්මය වෙනුවට එක් කිරිමේ ප්‍රේමයේ ආධ්‍යාත්මය අපි අයිතිකර ගත යුතුය.

පවතින ධනයේ ක්‍රමය සුරක්ෂිත කරන ආගම්බවට පත්වෙමින් පවුල් සුරක්ෂිත කිරිමේ බන දෙසිමෙන් ඵලක් නොවේ.

Jesustoday.lk 5 වන වසර 31 වන සතිය 2021 ඔක්තෝම්බර් 03 වන ඉරිදා  

 

Comments powered by CComment