9/11 විසින් කරනු ලැබු දැවැන්තම ගෝලීය ව්‍යසනය වන්නේ ‘මුස්ලිම් සතුරා’ නිර්මාණය කිරීමයි. එය 9/11 ට පෙර සිටම අධිරාජ්‍යවාදි රහස් එජන්තයින් සමඟ ප්‍රජාතන්ත්‍රවාදි වෙස් මුහුණ පැළඳගත් රාජ්‍යයන්හි ඇති “සැඟවුණු රාජ්‍යය” හෙවත් සැබෑ රාජ්‍යයේ නිර්මානයක් යන්න පවතින ක්‍රමය තුළ නීතිය මගින් ඔප්පු කළ නොහැකි වූවද විවිධ සාක්ෂි විටක මතුව තව විටක සැඟව යන හෙවත් සඟවාලන සත්‍යයක් බව පෙනේ.

 

මේ 2021 සැප්තැම්බර් 11 වනදා රාත්‍රීයයි.

එක දිගට පැය 4 ක් තුළ සූම් සංවාද දෙකකට පසු අද දවස ගැන සිතන්නෙමි.

2001 සැප්තැම්බර් 9 වනදා පසු ලෝකය හෙවත් පශ්චාත් 9/11 ලෝකයට දැන් වසර 20 කි. දශක දෙකකි. මේ දශක දෙක අග අප සිටින්නේ භයානක කොරොනා වසංගතය සමඟ බව සැබෑ මුත් මේ දශක දෙක තුළ ලෝකය මුහුණ දී ඇති භයානක වසංගතය නම් කිස්සේත් කොරොනා වසංගතය නොවේ. එය නම් පශ්චාත් 9/11 ලෝකය තුළ ඉස්ලාම් ෆෝබියාව තුළ සඟවා ක්‍රියාත්මක වන මිලේච්ඡ ඇමරිකා බ්‍රිතාන්‍ය බටහිර අධිරාජ්‍යවාදයයි. ක්‍රිස්තියානි භාෂාවෙන් කීවොත් ඊජිප්තුවේ වහල්භාවයෙන් සිටි ජනයා අත්දුටු භයානක වසංගත ය වූයේ මැසි, මදුරු, උවදුරු ආදි වසංගත දහය නොවේ. මිසරයේ අධිරාජ්‍යවාදයයි.

වසර 20 කට පෙර අතීතයට ගිය විට ඇමරිකාවේ ටුවින් ටවර්ස් අල්ඛයිඩා ප්‍රහාරයෙන් ගිනි ගන්නා හැටි ජනමාධ්‍ය ඔස්සේ ගලා ගියේ බියකරු සිහිනයක් ලෙස මවා පාමිනි. එහෙත් අල්කයිඩාවේ බියකරු ප්‍රහාරයට වඩා දශක ගණනාවක් පුරා බටහිර අධිරාජ්‍යවාදයේ බියකරු යථාර්ථය තුළ ලොව පුරා ජනයාත් මැද පෙරදිග මුස්ලිම් ජනයාත් ජීවත් වූ බව සිහි එළවාගත හැකි වු හැකි වු නිසා ඇමරිකානු විථිවල දී මියගිය, හඬා වැලපුනු ජනයා අතරින් එමෙන් දහස් ගුණයක් ඇමරිකානු කෘරත්වය මත ලොව පුරා හඬ වැටුණු මැරී වැටුණු මිනිසුන් මතකයට නැගුණි.

එසේම ඇමරිකාව ත්‍රස්තවාදයට එරෙහිව යුද්ධය ප්‍රකාශ කළ විට නිසැකවම එය 9/11 ප්‍රහාරයෙන් මරණයට පත් වු තුන් දාහකට ආසන්න පිරිස වෙනුවෙන් ලක්ෂ සංඛ්‍යාත පිරිසක් ඝාතනයට ලක් කරන මහා ත්‍රස්තවාදයේ මෙහෙයුමක් වන බවට අපි කිසිදු සැකයක් නොතිබුනි. එය එසේම සිදු විය.

2001/9/11, පසු ත්‍රස්තවාදයට එරෙහි යුද්ධයේ එක් දිගුවක් ලෙස ලංකාවේ ත්‍රස්තවාදයට එරෙහි යුද්ධය දකින්නට ලංකාවේ බොහෝ දෙනෙකුට නොහැකිය. නමුත් සත්‍ය එයයි. 9/11 ප්‍රහාරයෙන් පසු අධිරාජ්‍යවාදින් දියත් කළ යුද්ධයේ කොටසක් ලෙස ලංකාවේ යුද්ධයද සැලකිය හැකිය. ලංකාවේ බොහෝ දෙනාගේ සිත්වල ඇත්තේ ඇමරිකාව යුද්ධයට විරුද්ධව ලංකාවට එරෙහිව කටයුතු කළ බව උවත් සත්‍ය එය නොවන බව අපි දනිමු. ඇමරිකාව බ්‍රිතාන්‍ය ආදි රටවල් යුද්ධය නිමා කිරිමට දුන් සහය පසුව ලංකා හමුදාවේ ප්‍රධානින්ම පිළිගනු ලැබුවකි.

9/11 විසින් කරනු ලැබු දැවැන්තම ගෝලීය ව්‍යසනය වන්නේ ‘මුස්ලිම් සතුරා’ නිර්මාණය කිරීමයි. එය 9/11 ට පෙර සිටම අධිරාජ්‍යවාදි රහස් එජන්තයින් සමඟ ප්‍රජාතන්ත්‍රවාදි වෙස් මුහුණ පැළඳගත් රාජ්‍යයන්හි ඇති “සැඟවුණු රාජ්‍යය” හෙවත් සැබෑ රාජ්‍යයේ නිර්මානයක් යන්න පවතින ක්‍රමය තුළ නීතිය මගින් ඔප්පු කළ නොහැකි වූවද විවිධ සාක්ෂි විටක මතුව තව විටක සැඟව යන හෙවත් සඟවාලන සත්‍යයක් බව පෙනේ.

මුස්ලිම් සතුරා ව්‍යාපෘතිය ගෙවුනු දශක දෙක තුළ ලංකාව තුළ ඉතා සාර්ථීකව ක්‍රියාත්මක කළේ ලංකාවේද අභ්‍යන්තර රාජ්‍යයේ සැලසුම් මත යැයි කෙනෙකුට කිව හැකිය. එය විවාද සම්පන්න වූවද එක් දෙයක් පැහැදිලිය. ‘මුස්ලිම් සතුරා’ ව්‍යාපෘතිය ලංකාවේ ඉතා සාර්ථක වූ බවය.

මුස්ලිම් ප්‍රජාව අතරින් ඉතා සුළුතරයක් රැඩිකල්වාදය හෙවත් අන්තවාදාය වෙත ගෙනගියේ තනි අතකින් නොවේ. සිංහල බෞද්ධ අධිපතිවාදය සමඟය. පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධ මතු කර ඇති ලංකාවේ ඔත්තු සේවාවලට අයත් පුද්ගලයින් පිළිබඳ ප්‍රශ්න විසින් ජනතාවට ඒත්තු ගොස් ඇත්තේ මුළු මනින් ලංකා‍වේ රහස් ඔත්තු සේවා නොවෙතත් ඒ තුළ සිටින යම් අභ්‍යන්තර කවයක්ද මෙම ප්‍රහාරයයේ යම් තැන් හා සම්බන්ධ බවයි.

ඇමරිකා එක්සත් ජනපදයේ රහස් ඔත්තු සේවාවලින් වැටුප් ලැබු බින්ලාඩන්ලා වැනීම තාවකාලීකව ප්‍රයෝජනයට ගන්නා “ඵලදායි සතුරන්” අපගේ රාජ්‍යය විසින් ද භාවිතා වූ බව පාස්කු ඉරිදා ප්‍රහාරය ඇසුරින් කළ එළි දුටුවේය.

අධිරාජ්‍යවාදි රවටල් මෙන්ම ඔවුන්ගේ රැැහැනින් බැදි ඇති පරිවාරයේ අපේ වැනි රටවල්ද ක්‍රියා කරන්නේ එකම මාදිලියකට අනුව බව සඟවන්නට නොහැකි වීම අධිරාජ්‍යවාදී බලවේගවලට එරෙහිව සාධාරණය යුක්තිය පතන මිනිසුන්ගේ සටන් වල ප්‍රතිඵලයකි. අප ජීවත්වන යුගයේ ඇති සාධනීය කරුණක් වන්නේ එයයි.

ජේසුස් වහන්සේ මතු කළෙ හෙළිදරව් නොවන රහස් නැති බවයි. ඒ රහස් හෙළිදරව් කිරීමට කැපවීමද ක්‍රිස්තියානි කැඳවීමකි. ඒ කැඳවීම ඉටු කළ යුත්තේ ගැඹුරු ආධ්‍යාත්මිකත්වයක් තුළිනි. නොඑසේ නම් මේ විෂම චක්‍රයට ම සේවය කිරීමට අපට සිදුවනු ඇත.

9/11 විසි වසරක් ගෙවෙන තැන අපි රටක් ලෙස සිටින්නේ කොතැනද ? පාස්කු ඉරුදින ප්‍රහාරය වැනි ප්‍රහාරයන් යළිත් සිදුවන බවට අන්ත ජාතිවාදි දිවැසිවරු විසින් ප්‍රසිද්ධියේ සපත කරන පසුබිමකය. ඒ සපත කිරිම් පසු පස මුස්ලිම් විරෝධයම වර නැගෙන පසුබිමකය.

9/11 විසි වසරකට පසු ලෝකය සිටින්නේ කොතැනද ? ඇමරිකා එක්සත් ජනපදය තලෙබාන්වරුන්ට ඉඩදි යන්නේ තවත් අයි. එස්. අයි. එස් - කේ කණ්ඩායමක්ද මතු වී සිටිත්දි නව රාජ්‍ය තාන්ත්‍රික මෙහෙයුමක් දියත් කරන බව ප්‍රකාශ කරන පසුබිමකය. එහෙත් ඇමරිකානු හමුදා ඇෆ්ගනිස්තානය තුළ සිදු කරනු ලැබු අපරාධ ගැන කිසිදු කතා බහක් නොමැතිව ඔවුන් නික්ම යන්නේ මානුෂිය මෙහෙයුමක් සිදු කළ ආකාරයටය. ඒ අපරාධ ගැන පරීක්ෂණ පැවැත්විය යුතුයැයි සෑම ස්වාධීන රාජ්‍යයක්ම සංවිධානයක්ම මිනිසෙක්ම හඩ නැගීය යුතුය.

විසි වසරකට පෙර සෙනසුරාදා රාත්‍රිය සේම මේ සෙනසුරාදා ද රාත්‍රිය දිගුය. ඒ වගේම මුස්ලිම් ෆෝබියාවෙන්, මුස්ලිම් සතුරාගෙන් දැදුරු කරනු ලැබු මානව වර්ගයාගේ විමුක්තිය උදෙසා පොදු මිනිස්භාවය ගොඩනැගීමේ ගමන ද දිගුය. එහෙත් ඒ ගමන යායුතු බව මේ රාත්‍රීයේද අපට ආරාධනා කරයි. ලොවට ආරාධනා කරයි.

Jesustoday.lk 5 වන වසර 29 වන සතිය 2021 සැප්තැම්බර් 19 වන ඉරිදා 

 

Comments powered by CComment