අප වහල් කරන අධිපතින් හා අප වහල් කරන අධිපති සමාජ ආර්ථීක ක්‍රමයේ දරුවන් නොවි අපව නිදහස් කරන ප්‍රේමයේ රාජ්‍යය උදෙසා සා පිපාසින කුසගිනිව සිටින මිනිසුන් හා ගැහැනුන් වෙමු.

 

නික්මයාම      16/2-4, 12-15

එපිස             4/14, 20-24

ශු. ජොහාන්   6/24-25

අද දිනට නියමිත දෙවන කියවීම තුළ, අපට ඇසේන්නේ නිවහල් නිදහස් ජීවිතයක් ගත කිරීමේ දුෂ්කරතාවය තුළ පරණ පුරුදු වහල් ජීවිතය දෙසට දි යාමේ දුරපරීක්ෂාවට මුහුණ දී සිටින ජනතාවකට කරන මතක් කිරීමකි.

“ඔබේ පසුගිය පැවැත්මට අයිති වූ තෘස්ණාවලින් මුළා වී විනාශ වන්නාවු පරණ ස්වභාවය අහක දමා, ආධ්‍යාත්මික නවතාවයක් ඇති කරගන්න. දෙවියන් වහන්සෙගේ ස්වරූපය අනුව මවන ලද දමිටුකමින්ද ශුද්ධවන්තකමින්ද ප්‍රකාශවන අලුත් ස්වභාවයක් පළදින්න”

දෙවියන් වහන්සේගේ ස්වභාවය ස්වරූපය වන්නේ ප්‍රේමයයි. නිදහස් නිවහල් ජීවයයි. ආත්මාර්ථකාමිත්වය නොව සාංඝිකභාවයයි. එය වැළඳගැනීම ඒ බවට පත්වීම මිස කිතුනුකමට වෙන අරුතක් නැත.

අදට නියමිත පළමු කියවීම තුළ දැක්වෙන්නේ නික්මයාමේ ගමනේ නිරත වන ජනතාව ඒ දුෂ්කර ගමන තුළ නඟන මැසිවිල ගැනය. වහල්කම තුළ ගිලී මිය යමින් දුක් විඳිමින් සිටිත්දී වහල් හිමියන් දුන් මස් පිඟන්වල රසය සිහි කරමින් ඒ පරණ වහල් පැවැත්ම මීට වඩා යහපත් යැයි සිතන මුළාව ගැනය.

මේ මොහොත වන විට ලෝකය පුරාත් අප රට තුළත්, ටික දෙනෙකුගේ ලාභය උදෙසා ඇති කළ වහල් සමාජ ආර්ථික ක්‍රමයේ ප්‍රතිඵලයක් ලෙස අසාධාරණයට ලක් වූ ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් විවිධ අරගල වල නිරත ව සිටිති. පාලකයින් කල් කරමින්, මර්ධනය කරමින් ඒ අරගල අතහැර පරණ පුරුදු වහල්භාවය තුළ දෙන මස් කටු සූප්පු කරමින් ඔහේ දිවි ගෙවීම තෝරා ගැනීමට මර්ධනයෙන් නොසලකා හැරීමෙන් ජනයාට බළ කරයි.

මේ ක්‍රමයෙන් යම් යම් වාසි ලබන්නෝ සාධාරණය යුක්තිය ඉල්ලන ජනයාට අපහාස උපහාසර කරමින් පවතින අධිපතින්ට යටත් වීමට අනියමින් බල කරති.

ජේසුස් වහන්සේ හාස්කම් සොයා තමන් පසු පස එන ජනතාවට පවසන්නේ කුමක්ද ?

“නැති වී යන ආහාරය සඳහා නොව සදාතන ජීවිතයට ඉවහල් වන ආහාරය සඳහා වීර්ය වන්න”

සදාතන ජීවිතයට ඉවහල්වන ආහාරය වන්නේ දේව කැමැත්ත ඉටු කිරීම් නම් වූ ආහාරයයි. ප්‍රේමයේ පැවැත්මක් සඳහා ප්‍රේමයෙන් නිදහසින් කැපවීමයි.

ජේසු තුමා මාගේ වැඩය නම් මා ඒවා වදාල තැනන් වහන්සෙගේ කැමැත්ත කිරීම යැයි පැවසු සත්‍යය අප ගැඹුරින් තේරුම්ගත යුතුය.

අප වහල් කරන අධිපතින් හා අප වහල් කරන අධිපති සමාජ ආර්ථීක ක්‍රමයේ දරුවන් නොවි අපව නිදහස් කරන ප්‍රේමයේ රාජ්‍යය උදෙසා සා පිපාසින කුසගිනිව සිටින මිනිසුන් හා ගැහැනුන් වෙමු.

විවිධ මුළාවන්ට හසු වී වහල් ක්‍රමය වෙත ඇදී නොයමු.

වහල් ක්‍රමය හොඳ යැයි පවසන පාපයට සිතින් වචනයෙන් ක්‍රියාවෙන් හෝ අතපසු කිරිමෙන් දායක නොවෙමු.

Jesustoday.lk 5 වන වසර 22 වන සතිය 2021 අගොස්තු 01 වන ඉරිදා

 

Comments powered by CComment