Print

නිල් ආර්ථිකය (Blue economy) යන ලේබලය යටතේ සාගර මුහුදු පත්ලේ සම්පත් සූරාකෑමට ගෝලීය බලවතුන් තරඟයක යෙදී සිටිති. වරෙක ළගා විය නොහැකි යැයි සිතූ, මුහුදු පත්ලේ ගැඹුරට, වැඩි වැඩියෙන් ප්‍රවේශ වීමට හැකියාව තාක්ෂණයේ දියුණුව විසින් ලබා දී ඇත. විශේෂයෙන් සංවර්ධිත රටවලට ආහාර, විකල්ප ඛනිජ හා බලශක්ති ප්‍රභවයන් සැපයීම සදහා බහුජාතික සමාගම්  සාගර සම්පත් කොල්ලකෑමේ තරඟයක යෙදි සිටිති.

 

ගෝලීය ධනවාදයේ අරමුණ ලාභයයි. ඒ සදහා ලොව ඇති සියලුම සම්පත් සූරාකෑම එහි ලක්ෂණයයි. ගොඩබිම සම්පත් සූරාකෑමෙන් නොනැවති ගෝලීය ප්‍රාග්ධනවාදය අනිකුත් ග්‍රහලෝක, වායුගෝලය, මහ සාගරය සූරාකෑම හෝ එසේ නොමැති නම් ඒ සදහා පර්‍යේෂණ කිරීම ආරම්භ කර බොහෝ කල්ය.

ගොඩබිම පදනම් කරගත් ඛනිජ ද්‍රව්‍ය ක්ෂය වීම සීඝ්‍රයෙන් සිදුවෙමින් පවතියි. ඛනිජ ද්‍රව්‍ය ලබා ගැනීමට මහ පොළවේ සිදු කරන විවිධ කැණීම් හේතුවෙන් පරිසරයට හා ප්‍රජාවන්ට ඉමහත් විනාශකාරී බලපෑම් සිදුවෙමින් පවතියි. ඒ සමඟම තාක්ෂණයේ දියුණුව හා ඉලෙක්ට්‍රොනික ඛනිජ සඳහා පාරිභෝගික ඉල්ලුම දිනෙන් දින වැඩි වෙමින් පවතියි. නිදසුනක් ලෙස සෑම ජංගම දුරකථනයකටම තඹ කිලෝග්‍රෑම් 0.02 ක් අවශ්‍යවේ. 2025 වන විට වොක්ස්වැගන් සමාගමට එහි බලශක්ති කාර්යක්ෂම මෝටර් රථ සඳහා කොබල්ට් නමැති ඛණිජ ද්‍රව්‍යය අවම වශයෙන් වර්තමාන කොබල්ට් සමස්ථ ගොලීය නිෂ්පාදනයෙන් 1/3ක් අවශ්‍යවේ.

2040 වන විට සියලුම යුරෝපීය වාසීන් විද්‍යුත්  කාර් (ටෙස්ලා මොඩල් 3 භාවිතා කරමින්) භාවිතා කිරීම ආරම්භ කළොත් දැන් නිපදවන ප්‍රමාණයට වඩා 28 ගුණයක් කොබල්ට් ඛණිජ ද්‍රව්‍ය‍ය අවශ්‍යවේ. මෙම ඉල්ලුම සපුරන්නට තඹ, ලිතියම්, දුර්ලභ පස් ඛනිජ, කොබල්ට්(Co) සහ මැන්ගනීස්(Mn) වැනි ඛනිජ ද්‍රව්‍ය සූරාකෑමේ ඊළඟ ‘පොළව’ බවට සාගර පතුල ආක්‍රමණය කිරීම දැනටමත් ආරම්භ කර ඇත.

මුහුදු මට්ටමේ සිට මීටර් 400 ත් 6000 ත් අතර ගැඹුරකින් යුත් මුහුදු පතුලේ ඛනිජ සූරාකෑම අන්තර්ජාතික සමාගම් සහ රජයන් විසින් පැසිෆික් සාගරයේ, ඉන්දියන් සාගරයේ සහ ක්ලැරියන් ක්ලිපර්ටන් ප්‍රදේශයේ සිදු කිරීමට නියමිතය. සමස්තයක් ලෙස ගත් කල, බලපත්‍ර යටතේ ආවරණය වන මුහුදු පත්ලේ භූමි ප්‍රමාණය විශ්මය ජනකය. එය වර්ග කිලෝමීටර් මිලියන 1.3 කට වඩා වැඩි මුහුදු පතුලක් ආවරණය කරයි. ඉහත අරමුණු සඳහා පැපුආ නිව් ගිනිආ රට විසින් ලොව පළමු වාණිජ බලපත්‍රය නිකුත් කරන ලදී.

නිල් ආර්ථිකය (Blue economy) යන ලේබලය යටතේ සාගර මුහුදු පත්ලේ සම්පත් සූරාකෑමට ගෝලීය බලවතුන් තරඟයක යෙදී සිටිති. වරෙක ළගා විය නොහැකි යැයි සිතූ, මුහුදු පත්ලේ ගැඹුරට, වැඩි වැඩියෙන් ප්‍රවේශ වීමට හැකියාව තාක්ෂණයේ දියුණුව විසින් ලබා දී ඇත. විශේෂයෙන් සංවර්ධිත රටවලට ආහාර, විකල්ප ඛනිජ හා බලශක්ති ප්‍රභවයන් සැපයීම සදහා බහුජාතික සමාගම්  සාගර සම්පත් කොල්ලකෑමේ තරඟයක යෙදි සිටිති.

නිල් ආර්ථිකය පිළිබඳ සංකල්පයේ මූලාරම්භය පුළුල් හරිත වර්ධන ආර්ථික අර්ථ දැක්වීම තුළ අඩංගුවේ. දශක ගණනාවක් තිස්සේ සාගර සූරාකෑමේ ආධිපත්‍යය දැරූ ධනවාදී ක්‍රියාකාරකම් නිසා, අපේ පෘථිවියේ නිල් හදවත වන සාගර පරිසර පද්ධතිවලට සිදුවී ඇති විශාල හානිය පිළිබඳව දැන් වැඩි අවධානයක් ‍යොමුව ඇත. මෙම විනාශයන්ගෙන් සමහරක් නම් අධික ලෙස මසුන් ඇල්ලීම, සමුද්‍ර ජීවි වාසස්ථාන විනාශ කිරීම, සමුද්‍ර දූෂණය, සාගර ආම්ලීකරණය සහ දේශගුණික විපර්යාස යනාදිය වේ.

මහ සාගරය යනු පෘථිවියේ “නිල් හදවත” ය. ගෝලීය දේශගුණික නියාමනය සඳහා මහ සාගරය දෙනු ලබන දායකත්වය මගින් ග්‍රහලෝකයේ ස්ථායිතාව සහ ජීවය පවත්වා ගැනීමට ඉමහත් පිටුවහලක්වේ. මහ  සාගරය, වායුගෝලීය ඔක්සිජන් වලින් සියයට 50 ක් සපයන අතර මිනිස් ප්‍රේරිත කාබන් ඩයොක්සයිඩ් විමෝචනයෙන් සියයට 25 ක් අවශෝෂණය කර ගනියි.  සාගර ධාරා වල සංසරණ ගතිකය, අපගේ පෘථිවිය, වාසයට සුදුසු ස්ථානයක් බවට පත් කරයි. අපේ පෘථිවියේ ක්‍රියාකාරිත්වයට ගෝලීය සේවාවක් සපයන අසාමාන්‍ය ජෛව විවිධත්වයෙන් යුතු අද්විතීය පරිසර පද්ධති මහ සාගරය තුළ පිහිටා තිබේ. වර්තමානයේදී සහ අනාගතයේදී පෘථවි ජීවින්ගේ පැවැත්ම  සඳහා මහ සාගරය සපයන සෞඛ්‍යමය ජීවය පිළිබඳ විද්‍යාව අවබෝධ කර ගැනීම අද දවසේ  හදිසි හා බලගතු කාර්යයකි.  ගොඩබිම වසන ජනතාවට නොපෙනෙන බහු ජාතික සමාගම් විසින් කරගෙන යනු ලබන සාගර සම්පත් කොල්ල කෑමට එරෙහි විරෝධය වහ වහා සංවිධානය කළ යුතුව ඇත.

ශෙරාඩ් ජයවර්ධන පියතුමා

Jesustoday.lk 5 වන වසර 14 වන සතිය 2021 ජුනි 06 වන ඉරිදා