අද තණ්හාව පවතින්නේ හුදෙක් පුද්ගල සන්තානය තුළ නිධානව පමණක් නොවේ. පුද්ගල සන්තානයේ ඇති තණ්හාව අද සමාජ ආර්ථීක දේශපාලන සංවිධාන තුළ ආයතන තුළ, රාජ්‍ය තුළ ම පවා ව්‍යුගත වු සංවිධානගත වු තත්ත්වයක් පවති.

 

සමයාන්තර සංවාදයට මඟ කියන මයිකල් රුදිගු දැක්ම හා වල්පොළ රාහුල දැක්ම

“මම විශ්වාසයෙන් කිතුනුවෙක්. හැදියාවෙන් බොදුනුවෙක්” යැයි කී මයිකල් රුදිගු පියතුමා නාඳුනන තුවක්කුකරුවෙකුගේ වෙඩි පහරකින් ඝාතනය වූයේ 1987 නොවැම්බර් 10 වනදාය.

ඒ, තමා සතු සියලු ශක්තින් ග්‍රාමීය බොදුනු-කිතුනු සංවාදය උදෙසා වැය කරමින් සිටි බුත්තල අලුකලවිට ‘සුබසෙත් ගෙදර’ නම් කුඩා නිවහනේදීය.

ඉන් වසර 34 කට පසු එතුමා උර දුන් කිතුනු-බොදුනු සංවාදය පිළිබඳ ඉතා කුඩා කතා බහක් අද සිදු කරන්නේ වල්පොල රාහුල මධ්‍යස්ථානයේ සිට. එය ඉතා වැදගත් අවස්ථාවක් වනු ඇත.

මහාචාර්ය වල්පොළ රාහුල හිමියන් හා ආචාර්ය මයිකල් රුදිගු පියතුමන් යන මහ පුරුෂයින් දෙදෙනාම ‘විචාරවත්’ මිනිසෙක් ගැහැනියක් බිහිකර ගැනීම උදෙසා වෙහෙසුනෝ වෙති.

1930 දශකය තුළ වල්පොල රාහුල හිමියන් ලියු සත්‍යෝදය ලිපි පෙළ පෙන්වා දෙන්නේ ඒ ප්‍රයත්නයයි. වල්පොල රාහුල පදම් භාරයේ වත්මන් අදියුරු ගල්කන්දේ ධම්මානන්ද හිමියෝ ‘සත්‍යෝදය’ කුඩා පොකට් මුද්‍රණයට සපයන පෙර වදනේ මේ විචාරවත් මිනිසා, විචාරවත් ආගමිකයා, විචාරවත් බෞද්ධයා බිහිකර ගැනීමේ වැදගත්කම මෙසේ සටහන් කරති.

සමාජයක් වඩ වඩාත් අවිවාරවත් වන විට එහී බලපෑම සෑම අංශයක් කෙරෙහීම බලපානු ලබයි. උදාහරණ ලෙස ආගමික අංශයේ දි අතිශයින් අවිචාරවත් වන පුද්ගලයා දේශපාලන තීන්දු ගැනීමේ දී විචාරවත් පුද්ගලයෙකු වන්නේ නැත. එහෙයින් විචාරවත් නැති සමාජය දූෂිත දේශපාලකයින්ට රජ දහනක් වන්නේය. මක්නිසාද බොරු දේශප්‍රේමයක්, ආගමික ශ්‍රද්ධාවක් ජාති ප්‍රේමයක් මවා පා මෝහයෙන් මුලා වු ඡන්දදායකයා පහසුවෙන් රැවටිය හැකි බැවිනි"

"එහෙයින් විචාරවත් බෞද්ධයෙකු බිහිකර ගැනීම යනු හුදෙක් ආගමේ සුබසිද්ධිය සදහා පමණක් උදව්වන ක්‍රියාවක් නොවේ. එය මුළු මහත් සමාජයේම යහපත සදහා අත්‍යාවශ්‍ය දෙයක් වන අතර පීඩිත දුප්පත් මිනිසා වංචනික පුද්ගලයන්ට හසු වී තව තවත් පීඩාවට පත් වීම වළක්වා ගැනිම සදහාද අත්‍යාවශ්‍ය වු මැදිහත්වීමකි.

වල්පොල රාහුල හිමියන් සේම මයිකල් රුදිගු පියතුමා ද ඉතා ගැඹුරු සමාජ ආර්ථීක දේශපාලන විග්‍රහයක්, කියවීමක් සහිත උතුමන්ලා විය. ශ්‍රී ලාංකේය සමාජය සංවර්ධිත සමාජයක් වීමට නම් අවිචාරවත් ආගමික පසුබිමක් තුළ හැදී වැඩෙන මෙරට පුරවැසියන් විචාරවත් පුද්ගලයින් බවට පත් කිරිමේ අවශ්‍යතාවය එතුමන්ලා දුටුවෝය.

එය හුදෙක් දේශපාලන ව්‍යාපාරයක් මගින් පමණක් කළ නොහැකි බවද එතුමන්ලා දුටුවෝය.

මයිකල් පියතුමා උපත ලැබුවේ 1927 දීය. වල්පොල රාහුල හිමියන්ට වඩා වසර 20 ක් බාලය. එතුමාගේ පියා බෞද්ධ මෙතොදිස්ත පසුබිමකින් පැමිණ අතර එතුමාගේ බෞද්ධ නෑයින් සමඟ එතුමා කුඩා කල පන්සල් ද ගියේය.

අන් ආගම් මිථ්‍යාදෘෂ්ටින් සේ සැලකු යුගයක, 1950-60 ගණන්වලදිත් එතුමා පන්සල ඇසුරු කළේය. පන්සලේ ඇසුර පිළිබද වැරදි මත පළ කළ අයට එතුමෝ පහත පරිදි පිළිතුරු දුන්නෝය.

“සියලු යහපත නික්මෙන්නේ දෙවියන්ගෙනී. බුදු දහමද යහපතම ගෙන ඒ ඉතිං කිතුනු අපි ඊට ගරු කළ යුතුය."

ලංකාවේ ග්‍රාමීය දුප්පත්කම, කරුමය හා දේව කැමැත්තේ ප්‍රතිඵලයක් නොව අසාධාරණ සමාජ ක්‍රමයක ප්‍රතිඵලයක් බව එතුමා වටහාගෙන සිටියේය.

1958 දෙමළ සංහාරය 1971 කැරැල්ල ආදි අත්දැකිම් පසු කළ එතුමා මහා ආගම් හතරක් ඇති රටක මේවා මෙසේ සිදුවන්නේ ඇයිද යන්න ගැඹුරින් හැදැරුවේය. 1971-73 එතුමා පැරිස් විශ්ව විද්‍යාලයෙන් දෙවන ආචාර්ය උපාධි නිබන්ධනය සම්පූර්ණ කළේ ආගම් හී හරය සම්බන්ධයෙනි. සියලු ආගම් හී හරය ජනතාව වහල්බවින් නිවහල් බව කරා ගෙනයාම බව එතුමා මතු කළේය.”

බොදුනුවන් විචාරශීලි බොදුනුවන්, බවටත් කිතුනුවන් විචාරශීලි කිතුනුවන් බවටත් ඒ පරිදිම අනෙකුත් ආගමික මිනිසුන් විචාරශීලි මිනිසුන් බවට පත්වීම අවශ්‍යය.

ධර්මය යනු සත්‍ය වන නිසා ධර්මය වෙනස් කළ නොහැක. 

ධර්මය පසෙකලා ආගම් වැළඳ ගන්නා බොහෝ දෙනා ආගම්වාදින් බවට පත්වෙති. එය අවිවිචාරශීලි තත්ත්වයට පත්වීමකි.

මයිකල් පියතුමා දුටුවේද, වල්පොළ රාහුල හිමියන් දුටුවේද ධර්මයේ හැසිරෙන බෞද්ධයෙකු ධර්මයේ හැසිරෙන කිතුනුවෙකු අතර වෙනසක් නොමැති බවයි. ගැටුමක් නොමැති බවයි.

ආගමකට හැරවීම නොව, ධර්මයට ලං කිරීම තුළින් මිනිසුන් විචාරශීලි වන අතර සමාජයද යහපත් වන බව එතුමන්ලා දුටුවෝය.

වල්පොළ රාහුල හිමියෝ සත්‍යා්දයෙහි මෙබදු අදහසක් පළ කරති.

“යම්කිසි භික්ෂුවක් වරදක් කළ විට ඔහු බුද්ධශාසනය වනසතැයි ගිහියෝ කෑ ගසති. ගිහියා වරදක් කිරීමෙන් ඔහුත් බුද්ධශාසනය වනසන බැව් හෙතෙම නොසිතයි. ක්‍රිස්තියානි පූජකයෙකු වරදක් කළත්, මුස්ලිම්කාරයෙකු වරදක් කළත්, සැබැවින්ම එය බුද්ධශානය කඩ කිරීමකි. බුදුරජාණන් වහන්සේ ලොව පහළ වූයේ එක් පක්ෂයක පමණක් යහපත පිනිස නොවේ. උන්වහන්සේ සියල්ලන්ට සාධාරණය. එනිසා කවරකු වරදක් කළත් එය උන්වහන්සෙගේ අවවාදය, ශාසනය නොරැකීමකි."

භික්ෂුවක් බරපතළ වරදක් කළ බැව් දැනගත් විට ‘බුද්ධාගම පිරිහෙතැයි’ ක්‍රිස්තුභක්තිකයෝ ප්‍රීතියට පත්ව එය ඔවුන්ගේ පත්‍ර වල පළ කරති. ක්‍රිස්තියානි පූජකයෙකු එබඳු වරදක් කළ විට ‘ක්‍රිස්තියානිය පිරිහෙතැයි’ බෞද්ධයෝ ප්‍රීතියට පත්ව එයද ඔවුන්ගේ පත්‍ර වල පළ කරති. ඒ වරද කළ අවාසනාවන්තයා සියල්ලන්ට සාධාරණය සත්‍යය, ධර්මය අනුගමනය නොකිරීමෙන් විපතට පත් වු බැව් ඔවුහු නොසිතති. අහෝ! අද ආගම්වල තත්ත්වය! බෞද්ධයෝ ධර්මය නොව බුද්ධාගම දියුණු කරති. ක්‍රිස්තු භක්තිකයෝ ධර්මය නොව ක්‍රිස්තියානි ආගම දියුණු කරති. ඔවුහූ ධර්මය නැති කොට ආගම දියුණු කරති. ඔව්හූ ඒ ඒ ලේබල් අලවා ගත් පිරිස කොපමණදැයි ගණන් කරති. නමුත් සර්ව සාදාරණ ධර්මය, සත්‍යය ගැන සොලකති. අද බුදුරජාණන්වහන්සේ ජීවමානව ඇත්නම්, යම් කිසි ක්‍රිස්තියානි පූජකයෙකු වරදක් කළ විට, උන්වහන්සේ ඒ ගැන සංවේගයට පත්ව, ඔහුට අනුකම්පා කොට, ඔහු ඒ වැරදි මගින් බේරා ගෙන, හරිමගෙහි ගමන් කරවන්නට වෑයම් කරන බැව්, අබ මල් රේණුවක පමණවත් සැකයක් නැතිව, අපි විශ්වාස කරමු. එසේ ම ක්‍රිස්තුස් වහන්සේද ජීවමානව ඇත්නම්, අර වරද කළ භික්ෂුව ගැන කනගාටුවට පත්ව ඔහු එයින් මුදා ඔහුට යහපතක් කරන්නට වෑයම් කරනු නොඅනුමානයි.”

එතුමන්ගේ මේ අදහස් ආගමික සහජීවනයට මාවතක් විවර කර දෙයි.

බුත්තල දී මයිකල් පියතුමාට පෝදින ධර්ම දේශනය පැවැත්වීමට ආරාධනා කළෝ නායක ස්වාමින් වහන්සේමය. මයිකල් පියතුමා පන්සිල් විවරණය කළේ සමාජ යථාර්ථය සමග බද්ධ කරමිනි.

“අද ගස් කොළන් කපා දාලා අක්කර දහස් ගාණක උක් වගා කරලා. පස නිසරු වෙලා. ජල උල්පත් හිඳිලා ගොවිතැන් පාළුවෙලා. අපේ දරුවෝ මන්දපෝෂණයෙන් පෙලෙනවා. අපේ රටේ ධනවතුන් බලවතුන් අපේ ඉඩකඩම් අල්ලාගෙන ඒවායේ ඉන්න පදිංචිකාරයන්ගේම දහඩිය මහන්සියේන මේ විදිහට වගාවන් කරලා මහා ධනස්කන්ධයක් හම්බ කරවගෙන සුර සැප විඳිනවා. මේක මේ රටේ ධනවතුන් බලවතුන් කරනු ලබන මිනිමැරීමක්. බුදුරජාණන් වහන්සේ පළවෙනි සිල්පදයෙන් උගන්වා තිබෙන්නේ සතුන් මරන්න එපා. ඒක පාපයක් කියලා. ඉතිං මේ මිනිමැරීම තුළින් සිද්ද වෙන්නේ ඒ පළවෙනි සිල්පදය බිඳීමක් නොවෙයිද ?

අපිට අයිති දේවල් බලෙන් උඳුරාගෙන ඒවායේ ඔවුන්ට ඕන කරන බෝග වවනවා. ඒක එක්තරා වැදගත් විදිහක හොරකමක්. ඒ කියක්කේ දෙවෙනි සිල්පදය බිඳීමක්.

මේ ධනවතුන් බලවතුන් කියන්නේ ‘දියුණු වෙන්න නම් ඔහොම බෑ හොඳට ඇඟ මහන්සි කරලා වැඩ කරන්න ඕනෑ‘ කියලා. නැති බැරිකම කියන්නේ ලබා උපන් හැටියට කරුමේ හැටියට සිද්ධ වෙන දෙයක් කියලයි ඔවුන් කියන්නේ. නමුත් සැබෑ බුද්ධාගමේ එහෙම දෙයක් ඉගැන්වෙන්නේ නැහැ. මේ මිනිස්සු මොනතරම් දාඩිය හෙලලා මහන්සි වෙනවාද ? ඒත් ඒකේ ප්‍රයෝජනේ ලබන්නේ කවුද ? ඔවුන් හෙලන දහඩියවල අගයක් නෑ. ඒවා හූරා ගන්නවා. මේ තෙවෙනි, සිව්වෙනි සිල් පද බිඳීමක්. මිනිසුන්ගේ ප්‍රශ්න අමතක කරවන්න මේ සමාජය පුරාම සුරාව සූදුව අසභ්‍ය දේවල්වලින් පුරවලා. මිනිස්සු මං මුලා කරලා. ඒක පස්වෙනි සිල්පදය බිඳීමක් නේද ?”

මයිකල් පියතුමා මතු කළ කරුණු අද අප ජීවත්වන යුගයේ දී  ධර්මය ජීවත් කරවීමේදි ඉතා වැදගත් වේ.

අද තණ්හාව පවතින්නේ හුදෙක් පුද්ගල සන්තානය තුළ නිධානව පමණක් නොවේ. පුද්ගල සන්තානයේ ඇති තණ්හාව අද සමාජ ආර්ථීක දේශපාලන සංවිධාන තුළ ආයතන තුළ, රාජ්‍ය තුළ ම පවා ව්‍යුගත වු සංවිධානගත වු තත්ත්වයක් පවති. එය දැකීමෙන් හා එකී ව්‍යුහාත්මක සංවිධානාත්මක තණ්හාව නි‍රෝධය කිරීමද දුකින් මිදීමට අත්‍යාවශ්‍යය.

මයිකල් පියතුමා හා වල්පොළ රාහුල හිමි යන උතුමන්ලා දෙදෙනා "තමන් පය ගසා සිටි ආගමික සංස්ථාවද, තමන් දිවි ගෙවු සමාජ සංස්ථාවද එකි විද දකිමින් යහපත් සාමකාමි සංතෘෂ්ටි දායක ජීවිතයකට මග පෙන්වූවෝ වෙති." ඒ මග පෙන්වීම් වත්මන් කිතුනු-බොදුනු සංවාදයට පදනමක් කරගනිමු.

Jesustoday.lk 5 වන වසර 38 වන සතිය 2021 නොවැම්බර් 28 වන ඉරිදා 

 

Comments powered by CComment