කෝවිඩ් වසංගතය සමඟ ඔන්ලයින් පහසුකම් නැති, ස්මාට් දුරකථන නැති බහුතර ශිෂ්‍යයින් ඉන්න රටවල් දිගු කලක් වෙනත් විකල්ප වෙත නොයන්න තිරයෙන් පිටුපස මේ සමාගම්වල බලපැම තිබෙන බවත් අප තේරුම් ගන්න අවශ්‍යයි. ඔන්ලයින් අධ්‍යාපනයට ඉඩදී බලා සිටීම ඉබේම සිදු වන්නක් නොවෙයි.

 

ඔන්ලයින් ආර්ථීක දේශපාලනය

අධ්‍යාපනයේ ඇති නැති පරතරය වර්ධනය කළ ඔන්ලයින් අධ්‍යාපනයේ ආර්ථික දේශපාලනය අවබෝධ කර ගැනීම ඉතා වැදගත්.

අපි දන්න මිතුරන් කීප දෙනෙකුම පසුගිය වසර එක, එකහමාර තුළ මිය ගියා. ඔවුන් 30-45 අතර අය. හෘදයාබාධ, අධි රුධිර පීඩනය, නහරයක් පුපුරා යාම වගේ කරුණු තමයි මේ මරණ එක්ක කියවුණේ.

මේ හැම දෙනාගේම වාගේ පොදු ලක්ෂණයක් වුණේ ඔවුන් පැය දෙක තුනක් නිදා ගන්න තමන්ගේ ලැප්ටොප් එක එක්ක පැය 16 ක් 17 ත් 18 වැඩ කරන අය.

අපි දකින්නේ මේ මිනිස්සු ප්‍රමාණය ඉක්මවා වෙලාවක් කලාවක් නැතිව වැඩෙහි යෙදී සිටීම ඒ අයගේ ප්‍රශ්නයක් හැටියට විතරයි. නමුත් ඒක තුළ අපි නොදකින සත්‍යයක් තිබෙනවා. හුගාක් අන්තර්ජාලය හරහා සේවා සපයන ගෝලීය ව්‍යාප්තියක් සහිත ආයතන බහුතරයක් පැය විසි හතරම වැඩ. දවසේ හතේම වැඩ. ඒවාට නාැවතීමක් නෑ. සේවකයෙක්ගේ ජීවිතය නැවතුනාම තව කෙනෙක් ආදේශ කරගෙන ආයතනය ක්‍රියාත්මකයි.

මේකට හේතුව තමයි හුගාක් අන්තර්ජාල සේවා, ඩිජීටල් උපකරණ, මොබයිල් ෆෝන්වලට අවශ්‍ය පරිපථ නිපදවන සමාගම් වැනි දැ විශාල ප්‍රාග්ධන ආයෝජනයක් අවශ්‍ය සමාගම්. එසේම මේවායේ තාක්ෂණය අවුරුදු තුන, හතරක් තුළ යල් පනිනවා. ඒ නිසා ඇමරිකන් ඩොලර් බිලියන ගණනක ප්‍රාග්ධනය හා ඊට සරිලන ලාභයක් වසර තුන හතරදි ලබන්න නම් දවස් තුන්සිය හැට පහේම පැය විසිහතරේම වැඩ කරන්න වෙනවා.

මෙන්න මේ ප්‍රාග්ධනය හා ලාභය පිළිබඳ යාන්ත්‍රණයේ එක් ඇණ මුරිච්චියක් වන සේවකයාත් ඒ නොදකින ජනතාවත් මේ විෂම චක්‍රයේ කැරකෙනවා.

අද ලොව පුරා ප්‍රධාන ලාභ උපයන සමාගම් බවට පත්වෙලා තියෙන්නේ අන්තර්ජාලය හා සම්බන්ධ සමාගම්. මේක නිකම්ම වන දෙයක් නොවෙයි. ඒ ක්ෂේත්‍රයේ ආයෝජනයත් වර්ධනය වෙනවා. ප්‍රාග්ධනය සමුච්චකරණය වෙනවා. ඒකාධිකාරයන් බිහි වෙනවා.

2020 දී පරිගණක චිප් හෙවත් සංයුක්ත පරිපථ නිපදවන සමාගම් 25 ක් සිටියා. 2021 සැප්තැම්බර් වෙනකොට සමාගම් තුනක ඒකාධිපතියක් බවට පත්වෙලා. 1999 පරිගණක චිප් ක්ෂේත්‍රයේ විකුණුම් පිරිවැටුම ඇමරිකන් ඩොලර් බිලියන 148 යි. 2018 වන විට එය ඇමරිකන් ඩොලර් බිලියන 460 දක්වා වර්ධනය වී තිබෙනවා.

කෝවිඩ් වසංගතය සමඟ ඔන්ලයින් පහසුකම් නැති, ස්මාට් දුරකථන නැති බහුතර ශිෂ්‍යයින් ඉන්න රටවල් දිගු කලක් වෙනත් විකල්ප වෙත නොයන්න තිරයෙන් පිටුපස මේ සමාගම්වල බලපැම තිබෙන බවත් අප තේරුම් ගන්න අවශ්‍යයි. ඔන්ලයින් අධ්‍යාපනයට ඉඩදී බලා සිටීම ඉබේම සිදු වන්නක් නොවෙයි.

ලෝකය වේගයෙන් යාන්ත්‍රකරණය වීම, පරිගණකකරණය වීම, කෘතිම බුද්ධියට නතු වීම හුදෙක් තාක්ෂණයේ දියුණුව පිළිබඳ ප්‍රශ්නයක් නොවෙයි. ප්‍රාග්ධනයේ හැසිරීම පිළිබඳවද ප්‍රශ්නයක් බව අප තේරුම්ගත යුතුයි. රටවල් පාලනය කරන්නේ ඇත්තටම අප පත් කරන දේශපාලකයින් නොවෙයි. විශාල පාර ජාතික සමාගම් ඔවුන් වැඩ කරන්නනේ අති සියුම් විදිහට.

ශ්‍රී ලංකාවේ දේශපාලන බුද්ධි ජීවින් පවා මේ ගැඹුරු සත්‍යය දකින්නේ නෑ. සැලකිය යුතු විශ්ව විද්‍යාල ශිෂ්‍යයින් පිරිසක් හා පාසල් සිසුන් පිරිසකට දෙමව්පියන් ණය වී කනකර උකසට තබා මේ උපකරණ පසුගිය වසර එකාමාර තුළ ලබා දුන්නා. ඒ අරගෙනත් තව විශාල පිරිසක් මෙයින් හැලී ගොස් තිබෙනවා. ගිය ලිපියේ කිව්වා වගේ අපි ගැඹුරු දුර දැක්මක් නැතිව තමයි මේ ඔන්ලයින් ඉගෙනුම වෙත ගමන් කළේ, රාජ්‍යය අඩු තරමින් ගුරුවරු පුහුණු කළේවත් නෑ. පෞද්ගලිකව තම තමන්ගේ ප්‍රශ්න විසඳගන්න ඉඩදී වෙළඳපළට අවශ්‍ය පහසුකම සකස් කළා.

දැන් අපි මෙහි ප්‍රතිඵල භුක්ති විඳිනවා පෙර සූදානමක්. පෙර දැනුමක්වත්, ගුරු පිය දෙමාපිය පාර්ශවයන්ට ලබා නොදි ඔන්ලයින් අධ්‍යාපනයට දොරටු විවෘත කර රජය පැත්තකට වී සිටීම නිසා ඉතා බරපතළ කාරණා දෙකක් සිදු වී තිබෙනවා.

  1. ඔන්ලයින් ඉගෙනුම කරන  40% - 45% ළමුන් අතර සැලකිය යුතු පිරිසක් ජංගම දුරකථන ඇබ්බැහියට හා අවභාවිතයට යොමු වීම.
  2. ඔන්ලයින් ඉගෙනුම නොකරන 55%-60% අතර පිරිසකගේ අධ්‍යාපන හිමිකම උල්ලංඝනය වීම.

පාසල් පටන්ගත් සැනින් මේ ප්‍රශ්න දෙකම විසදෙන්නේ නෑ. ඒ නිසා මේ ප්‍රශ්න දෙකට අදාලව ඉතා බරපතල සමාජ දේශපාලන මැදිහත් වීමක් අවශ්‍යව පවතිනවා. 

Jesustoday.lk 5 වන වසර 32 වන සතිය 2021 ඔක්තෝම්බර් 10 වන ඉරිදා 

 

Comments powered by CComment